තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජ්‍ය ආයතනය මගින් සංවිධානය කරන ලද 2012 වසර සඳහා වූ ඊ-ස්වාභිමානී ජාතික විශිෂ්ඨතා සම්මාන ප්‍රධානොත්සවයේදී , ඊ-අධ්‍යාපන හා ඉගෙනුම් අංශය සඳහා, අප ඉදිරිපත් කල විදුමංපෙත වෙබ් අඩවියට හිමිවූ ,

ජූරියේ විචාරය

විද්‍යා විෂය සම්බන්ධව තතු සොයන, එසේම සෙවීමට ඇල්මක් ඇති හුදෙක් ලාංකීය සිසු පරපුරට ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ, විශ්වාසදායි තොරතුරු සපයා ගත හැකි එකම මාධ්‍යය ඉංග්‍රීසි වීමයි.නමුත් ඔවුනට දේශීය බසින්ම විද්‍යා සංකල්ප ඉගැන්වීම උදෙසා "විදුමංපෙත" වෙබ් අඩවිය දියත් කර ඇති ව්‍යාපෘතිය ප්‍රශංසනීය වේ. ලොව සිංහළ භාෂාවෙන් සම්පාදනය කල ප්‍රථම විද්‍යා වෙබ් අඩවිය වීමේ ගෞරවයද විදුමංපෙත සතුය.
කාර්යක්ෂම සෙවුම් යන්ත්‍රයක් අඩංගු කර ඉන් ඔබ්බට යමින්, මෙහි නිර්මාණකරුවන් ඉදිරිපත් කර ඇති විද්‍යා පැන විසඳුම්,විද්‍යාත්මක ක්‍රීඩා වැනි ක්‍රියාකාරකම් හරහා සිසුනට වඩාත් උනන්දුවෙන් හා ආශාවෙන් විද්‍යාව ඉගෙනීමේ අවස්ථාව උදා කරදී තිබේ.එසේම විද්‍යා ක්ෂේත්‍රයේ නිතර කතාබහට ලක්වන මාතෘකා පිළිබඳව, විද්‍යාඥයින් හා ශිෂ්‍යයින් විසින් රචිත ලිපි ගණනාවක් කියවීමටද ඉඩකඩ ලැබේ.
මෙහි අඩංගු වඩාත් සිත් ඇදගන්නාසුලු අංගයන් අතර ඇති, නිවසේදීම පියවරෙන් පියවර විද්‍යාගාරයක් සාදාගන්නා අයුරු, පහසුවෙන් සපයා ගත හැකි ද්‍රව්‍ය වලින් කල හැකි අස්වාදජනක විද්‍යා පරීක්ෂණ යනාදිය, සිසුනට විද්‍යා විෂය සරලව අත්දකින්නට මහෝපකාරී වේ.
මෙවැනි බොහොමයක් ක්‍රියාකාරකම් විෂය නිර්දේශය ආවරණය වන සේ සකස්කල ඒවා වන අතරම ඵලදායී අධ්‍යාපනික මෙවලම් ලෙස හැඳින්විය හැක.
භාවිත කරන්නාට රිසිසේ දැනුම ගවේෂණය කල හැකි මෙවැනි මහඟු සේවාවක් නොමිලයේ ලබා දීම මගින් සම්පත්දායකයින් අපේක්ෂා කර ඇත්තේ ජනතාව අතර විද්‍යාව වඩාත් ප්‍රචලිත කිරීමයි.
වෙබ් අඩවිය මගින් පුළුල් ලෙස විද්‍යා විෂය ආවරණය වී ඇති ආකාරයත්,අසීරුවෙන් විද්‍යාව ඉගෙනීමට වෙර දරන පාසල් සිසු ප්‍රජාවට ඉන් අයත් වන අස්වැසිල්ලත්, ජුරියේ ප්‍රසාදයට හේතුවිය.
පාඨක සිත් ඇද බැඳ තබා ගන්නා නිර්මාණශීලී අදහස් අඩංගු කිරීම මෙන්ම සමස්ත වෙබ් අඩවිය සිංහල යුනිකෝඩ් ආධාරයෙන් නැවත සැකසීම පිළිබඳව තාක්ෂණික ශිල්පීන් සම්මානයට පාත්‍ර විය යුතුමය.

« ආපසු යන්න